" සැරදේ සැරදේ සැරදේවා විදුහල් මෑණි සැරදේවා " නිපුණතා පාදක ප්‍රවේශයක් ඔස්සේ විධිමත් විෂය මාලාවක් හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරන සොඳුරු තෝතැන්න පාසලයි. අපේ ජීවතවලට අරුණා ලෝකයක් එක් කරන පාසල තරම් අගනා වටිනා ස්ථානයක් මිහිපිට ඇත්තේම නැහැ. අපට දැනුම,යහපත් ආකල්ප කුසලතා හා බද්ධ වූ යහපුරුදු දෝතින් ගෙන අපව සුපෝෂණය කරන්නේ අපගේ පාසල් මෑණියන්ය. මාගේ සොඳුරු විදු පියස වන්නේ මො/විද්‍යාර්ථ විදුහල් මෑණියන්ය. අභීත ඌව වෙල්ලස්ස ශ්‍රේෂ්ඨ විරු දරුවන් ජනිත කළ භූමියට නෑකම් කියන්නා වූ මා විදුහල් මෑණි ස්වභාව සෞන්දර්යයෙන් අනූන නිසසල භූමියක පිහිටා තිබේ.රමණිය කඳු වළල්ලකින් තේජාන්විතව වට වූ තරමක් උස් කඳු ප්‍රදේශයක පිහිටි මාගේ පාසලේ හරිත වර්ණ ශාක අපට ගෙන දෙන්නේ මහත් සිසිලසක්. ඒවගේම අප පාසලේ විදුහල්පති ගුරු මෑණිවරුන් ප්‍රමුඛ අපේ ගුරු මෑණිවරුන්ගේ හා ගුරු පියවරුන්ගේ සෙනෙහස නොමඳව විඳිමින් ඔවුන්ගෙන් ලබා ගන්නා ඥානා ලෝකය අපේ දිවියට මහත් අරුතක් එක් කරනවා. අප පාසල මුදුනින් විරාජමානව බැබළෙන ගෞතම මුනින්ද්‍රයානන් වහන්සේ වැඩ වෙසෙන බුදු කුටිය ද දෛනික අපේ පාසල් ජීවිතයේ සාර්ථකත්වයට මහත් ආශිර්වාදයක්.ශ්‍රේෂ්ඨ කිවිඳි වේරා නසිරියාන් ප්‍රකාශ කළේ "කියවීමෙන් කෙසේ හෝ ද්වාරයක් වී ලොවට වැඩි ආලෝකයක් පතිත වන බවයි". එමගින් අර්ථවත් වන පරිදි අපට තෙවන ඇසක් ලබා දෙමින් අපේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නව්‍ය සජීවිකරණයට ලක් කරන්නේ අපගේ පුස්තකාල පරිශ්‍රයයි. ඒවගේ ම අපේ විද්‍යාගාර පරිශ්‍රය ද අපේ විෂය දැනුම ප්‍රායෝගිකව ලබා දීමට කටයුතු කරයි. වත්මන් අධ්‍යාපන රටාව තුළ මනා පුහුණුවකින් සුදුසුකම්ලත් ගුරු පරපුරක් හරහා සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් අප පාසල තුළ ක්‍රියාත්මක වෙනවා.ඒවගේ ම අපට ගවේෂණය තුළින් ඉගෙනුමෙහි යොදවන්නට අපේ ගුරු මෑණිවරු පියවරු සුසාධ්‍යකරුවෙකු බවට පත් වී තිබේ.එනිසාවෙන්ම මේ වන විට අප ගුරු මෑණිවරුන්ගේ ගුරු පියවරුන්ගේ සහය ඇතිව ජාතික මට්ටමේ ජයග්‍රහණ පවා අප පාසලට ගෙන ආවා.ඉතින් අපි ඉදිරියටත් විවිධ ජයග්‍රහණ රැගෙන අප පාසල් මෑණියන්ගේ නාමය බැබළවීමට කටයුතු කරමු.
"දැයේ දිරියට නිපුණතා පිරි දරු පිරිසක්"
"ලොවට ගැළපෙන නිපුණතාපිරි දරු පිරිසක් බිහි කිරීම සදහා අපි සැවොම කැපවෙමු"